
(සුජිත් හේවාජුලිගේ )
බැංකු පද්ධතිය මත යැපෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස ලක්ෂයකගෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ ව්‍යාපාර වැසී ගොස් හෝ වැසී යාමට ආසන්නයේ පවතින බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික අනුකාරක සභාවේ දෙවැනි වාර්තාවේ සඳහන් වේ.
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට සහ භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට රජය රුපියල් කෝටි තිස් දාහක් ( බිලියන තුන් සීයක්) මෙතෙක් ගෙවා නැතැයිද එහි දැක්වේ.
සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනුකාරක සභාව පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණේ රටේ ආර්ථික ගැටලු හඳුනා ගැනීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණෙන් යුතුවය.
මෙසේ හිඟ බිල්පත් නොගෙවා ඇති පිරිසට ආහාර විදුලිය හා ප්‍රවාහන සැපයුම්කරුවෝ පිරිසක්ද ඇතුළත් වෙති.
මාර්ග සංවර්ධන අධිකාරිය,ජල සම්පාදන මණ්ඩලය,අධ්‍යාපන අමාත්‍යාංශය,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී රාජ්‍ය ආයතනවල සංවර්ධන වැඩ කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 20,000ක් පමණ පියවා නැතැයිද වාර්තාවේ සඳහන් වේ.
ගෙවීම් කටයුතු කිරීමේදී රුපියල් කෝටි දහයකට වැඩි කොන්ත්‍රාත්තු සඳහා ප්‍රමුඛතාවය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කුඩා පරිමාණ සමාගම් සහමුලින්ම අර්බුදයට ගොස් ඇති බවත් ආණ්ඩුවේ විවිධ ආයතන එම කුඩා පරිමාණ ආයතනවලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 6300 ක් බවත් දැක්වෙයි.
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග ව්‍යාපෘතියේ අවසන් කර ඇත්තේ කිලෝමීටර් 5423 ක් පමණක් බව පවසන එම වාර්තාව කිලෝමීටර් 17,847ක් සඳහා ටෙන්ඩර් පිරිනමා ඇති බවද එම වාර්තාව පවසයි.
ඒ ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 5500 ක් බවත් වාර්තාවේ දැක්වේ.
සංචාරක සහ ආහාර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් බැංකුවලට ණය වාරික සහ පොළිය ලෙස රුපියල් කෝටි හැට දාහක් පමණ ගෙවීමට ඇති බවත් රජයෙන් දුන් සහන කාලය අවසන් වීමත් සමග මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් අනුකාරක සභාව සඳහන් කළේය.
ආර්ථික අර්බුදයෙන් පසු 2022 වසර අවසාන වනවිට සමෘද්ධි පොරොත්තු ලේඛනයට තවත් පවුල් ලක්ෂ 11 ක් අලුතින් ඇතුළත් වී ඇති බව පවසන වාර්තාව දැනට රටේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 17 ක් ද වැඩිහිටි දීමනා ලබන්නන් හාර ලක්ෂ හතළිස් දාහක්ද ආබාධිත තැනැත්තන් 72,000ක්ද සිටින බව සඳහන් කළේය.
සමෘද්ධි සහනාධාරය සඳහා රජය රුපියල් කෝටි 6600ක් වැය කරන අතර එය ක්‍රියාත්මක කරවන කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට රුපියල් කෝටි 1300 ක් වැය කරන බව ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාව පවසයි.
ආර්ථික අර්බුදය සමග සිය දිවි හානි කර ගැනීම් හා ඒ සඳහා තැත් කිරීම් කිහිපය ගුණයකින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව සඳහන් කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බිඳවැටීම නිසා පවුල් ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින බවද එහි දැක්වෙයි.
ආර්ථික ප්‍රශ්නය හේතුවෙන් තාක්ෂණවේදීන් රට හැර යාම 2022 වර්ෂයේ දී සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇතැයි පවසන වාර්තාව අධික උද්ධමනය හේතුවෙන් ඉල්ලුම කඩා වැටීම නිසා මධ්‍යම තට්ටු නිවාස 1800ක් පමණ විකුණාගත නොහැකිව පවතින බවද සඳහන් කළේය.
තවත් අර්ධ වශයෙන් ඉදිකළ ඒකක තුන්දාහක් පමණ වැඩ නිම කරගත නොහැකිව පවතින බවද දැක්වේ.
කාර්යාල හා වාණිජ ආයතන සඳහා ඉදිකරන ලද ගොඩනැගිලිද ඉල්ලුමක් නොමැතිව හිස්ව පවතින බව එහි සඳහන් වේ.
අනුකාරක සභාව විවිධ ක්ෂේත්‍රවලට අයත් වෘත්තිකයන් ඇතුළු පිරිස් කැඳවා ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු පසුගිය කාලය පුරා පුළුල් අන්දමින් විමර්ශනයට ලක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුර්ධි ඇති කිරීමට පෙර ජනසවිය ක්‍රියාත්මක වුනා ඒ සදහා ප්‍රතිලාභීන්ට තමන්ගෙ ගමේ කිසියම් සංවර්ධන කටයුතුවල මසකට දින කීපයක් වැඩ කරන්න තිබුනා නමුත් සමුර්ධි කියන්නෙ එහෙම නැතුව නිකරුණේ මුදල් ගෙවීම් කරන ක්‍රමයක් තමයි දැනට අවුරුදු 29 ක් වෙලා තිබුනත් දීමනා අරගෙන සමුර්ධිමත් වුනු එක පවුලක් වත් නැහැ කියලා හිතෙනවා එනිසා මෙම ක්‍රමය තවදුරටත් අවශ්‍යද කියලා බැලුවොත් හොදයි
රටේ සැබෑ තත්වය මින් පෙන්නුම් කෙරේ. මෙම කමිටුවට අප ස්තූතිවන්ත වෙමු.
ප්‍රවෘතියේ හැටියට, අතිශය භයානකයි. ශෝචනීයයි. ප්‍රවෘතියේ දක්වා ඇත්තේ ගැටළු පමණයි. වාර්තාවේ සඳහන් යෝජිත විසඳුම් මොනවාද? එය රටට දැන්වීම පුවත්පතේ වගකීමකි.