ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

උතුරු, නැගෙනහිර,බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.