(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව  පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.

ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදා ගැනීම සහ විභාග කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ සහ මුද්‍රණ පහසුකම්, විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා හා ගාස්තු සංශෝධනය කිරීම සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු විය.

තවද, ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව OMR/OCR පද්ධතියක් හඳුන්වාදීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.

මීට අමතරව, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය මත පදනම්ව ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.