(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (6) පැවසීය.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළත් විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන්නේ නම් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි  විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවත් අබේගුණවර්ධන මහතා එහිදී කීවේය.

රට ආර්ථිකව වැටී ඇති බව ආණ්ඩුව පිළිගන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස පමණක් බලා නොසිට රට නැගිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.

රට ආර්ථික වශයෙන් ඉතාම ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඒ වෙනුවෙන් අඩු ආදායම්ලාභි පවුල්වලට සහන රැසක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අබේගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය.