( මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව වසන් කරමින් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කර ඇති බවත් ලෝකයේ සිදුවු බිහිසුණුම මෙම නාවික අනතුරෙන් නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 28.7 ක නයිටි්‍රක් අම්ල ගිනිගෙන සාගර කලාපයට එකතු වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පෙන්වා දුන්නේය.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලද බවට නීතීපතිවරයා විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලටම තමන් නිවැරදිකරුවන් බව නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයින් ඇතුළු විත්තිකරුවන් විවෘත අධිකණණයේ පැවසීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශණය පවත්වමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඒ බව පෙන්වා දුන්නේ.


මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති හෙයින් නඩු විභාගය ආරම්භ නොකරන ලෙස විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු ඉවත දමා නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීරණය කිරීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශණය පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එසේ පැවසීය.


2021 මැයි මස 19 වැනිදාත් ජුනි මස 02 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට අයත් දේශිය මුහුදේදී ගිනි ගැනීමෙන් නැවේ තිබු හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි සමුද්‍ර දුෂණ වැලැක්වීමේ අධිකාරී පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් මත නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.