(අමිල සම්පත් ශ්‍රී)

යාල වන සංරක්ෂිත ප්‍රදේශයට අයත් සංවේදී පරිසර කලාපයක් වන ගල් ආර ප්‍රදේශයේ දින 5ක් තිස්සේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක දැවැන්ත වන විනාශයක් සිදු කර ඇති බව වන පාලක නිලධාරී කේ. ඩී. ඒ. පී. ජයසිංහ මහතා සඳහන් කරයි.

මෙම වන විනාශය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ වන පාලකයා සමග පැමිණි ලුණුගම්වෙහෙර වනසංරක්ෂණ නිලධාරීන්ට රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන්  දොස් පැවරීය.

මාධ්‍ය මඟින් කරන ලද අනාවරණයෙන් පසු කොළඹ ප්‍රධාන කාර්යාල නිලධාරීහු සහ වනජීවි නිලධාරීහු පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණ සිටියහ.

මෙහිදී නිරීක්ෂණය වූ ප්‍රධාන කරුණක් වන්නේ මෙම වනාන්තර ප්‍රදේශය වියළි කලාපීය ද්විතීක වන ප්‍රදේශයක් බැවින් අලි ඇතුන් බහුලව සැරිසරන ප්‍රදේශයක් බවට තහවුරු වීමයි .

එසේ එළිපෙහෙළි කරපු මාර්ග දිගේ වන අලි කිහිප දෙනකු ගමන් කරපු අඩි සලකුණු පෙනෙන්නට ඇති බවත් මෙම නිරීක්ෂණ කටයුත්තේ දී විවිධ පක්ෂීන් වර්ග ගණනාවක් මෙම ප්‍රදේශයේ දැක ගතහැකි බවත් ඔහු සඳහන් කළේය .