(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වන ගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) යැයිද වන ගහනය 16%ක් දක්වා අඩු වී ඇතැයි  පළ වන  වාර්තා අසත්‍ය යැයිද  වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවෙි වන ගහනය අඩු වී ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව පවසා ඇත.

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ  සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී කළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් බවද වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසීය.