(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් නොගෙවූ 2021 වසරේ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ලබාදෙන ලෙස එහි වෘත්තිය සමිති පාලන අධිකාරියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් වසරකට හිමි වෛද්‍ය නිවාඩු 21 ලබානොගත හොත් මාසික වැටුපක දිරිදීමනාවක් හිමිවන අතර ඉතිරිව තිබෙන නිවාඩු ගණන අනුව සෙසු දීමනාව තීරණ වේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පසුගිය වසර (2022) සඳහා ප්‍රසාද දීමනාව සහ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ද මේ දක්වා ලැබී නොමැත.  

‘කොවිඩ්’ වසංගත තත්වය පැවැති 2021 වසරේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවුවද වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ගෙවා නොමැති බවත් සේවකයන් වැඩි කාලයක් නිවසේ සිට කටයුතු කිරීම හේතුවෙන් එය නොගෙවූ බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සේවකයන්ගේ එම ඉල්ලීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව කී එම නිලධාරියා ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් කළේය.