(කාංචන කුමාර ආරියදාස)

චෝදනා කිහිපයක් මත සැකපිට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ‍ප්‍රසව  හා නාරි වෛද්‍යවරයා 2013 වසරේ දඹුල්ල රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු තමන්ට දරුඵල අහිමි වූ බව පවසමින් කාන්තාවක් අද (27) දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මෙසේ දඹුල්ලට පැමිණ දඹුල්ල රෝහලට ගොස් මේ පිළිබඳව රෝහල දැනුවත් කර පසුව දඹුල්ල පොලීසියට පැමිණ ළමා හා කාන්තා කාර්යාංශයේ මේ පිළිබඳව පැමිණිල්ලක් ගොනු කළාය.

දඹුල්ල පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි පැමිණිල්ල සටහන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි පිටපත් කියැවීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

2013 වසරේ දඹුල්ල රෝහලේ දරු ප්‍රසූතිය සඳහා තමන් නේවාසිකව සිටි බවත් පසුව  මෙම වෛද්‍යවරයා  සිසේරියන් සැත්කමකට භාජන කිරීමෙන් අනතුරුව මේ වනතුරුත් දෙවැනි දරු ඵල නොමැති වීම නිසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඇය පොලිසියට සඳහන් කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන මෙම වෛද්‍යවරයා 2013 පෙබරවාරි 26 වන දින කුරුණෑගල රෝහලේ සිට දඹුල්ල රෝහලට ස්ථාන මාරු ලබා තිබිණි. පසුව 2015 07 මස තුන්වන දින රැකියාවෙන් ඉල්ලා අස්වී එවකට පැවැති මහ මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

නැවතත් 2016. 08 මස 19 දින  අමාත්‍යංශයේ විශේෂ ලිපියකින් දඹුල්ල රෝහලට සේවයට අනුයුක්ත වී තිබේ. පසුව 2017 පෙබරවාරි 16 වන දින වාර්ෂික ස්ථානමාරු ක්‍රමවේදය යටතේ නැවතත් දඹුල්ල රෝහලෙන් කුරුණෑගල රෝහලට ස්ථාන මාරු ලබා ඇතැයි පොලිසිය කියයි.