(යොහාන් භාසුර)

ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත් කරන කමිටුවලින් අපේක්ෂිත අරමුණු ඉටු කළ නොහැකි බවත් එම කමිටු ‘හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

වංචා සහ දූෂණ පිටු දැකීමට නම් අවංක දේශපාලන මැදිහත් වීමක් විය යුතු බවත් අයි.එම්.එෆ්. නියෝජිතයින් දුන්  මුදල පිළිබඳව ඔවුන් පසුවිපරමක් කළ යුතු බවත් මහාචාර්යවරයා කීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මහජනතාව අන්ත දුගී  බවට පත් ඇති බව කී මාහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන ආණ්ඩුව සමාජ සාධාරණත්වය අමු අමුවේ උල්ලංඝනය කරන බව ද සඳහන් කළේය.

අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමය ඵල දැරීමට නම් ජනතා වරමක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් මැතිවරණ භීතිකාවකින් පෙළෙන වත්මන් ආණ්ඩුවට එය කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.  

ඉහවහා ගිය වංචා දූෂණ හේතුවෙන් අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව කී මහාචාර්යවරයා පැවසුවේ ආණ්ඩුව හදිසි මිලදී ගැනීම් තුළින් වංචා, දූෂණ සහ අක්‍රමිකතා කරන බවත්ය.