(සනත් ගමගේ)

කිරම ඔය ව්‍යාපාරය යටතේ වගා කර ඇති කුඹුරුවල පීදෙන ගොයමට ලබාදීමට තිබෙන ජලය අධිවේගි මාර්ගයේ ගස් කොලන් තෙමීමට දිනකට වතුර බවුසර් 25 පමණ පුද්ගලික ආයතනයක්  ලබාගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා බලමන්ඩලයේ ලේකම් ශ්‍රී විමල මල්දෙණිය මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීමේ දී කීය.

කිරම ඔය යටතේ ඇති ප්‍රධාන ඇල මාර්ගයෙන් හා සුළු වාරි යටතේ ඇති කුඩා වැව් වලින්ද, විශේෂයෙන්ම ජූලත්තර වැවෙන් දිනපතා ජල බවුසර් විසිපහක් පමන මෙලෙස අධිවේගි මා්රගයේ ගස් කොලන් තෙමීමට යොදා ගැනීම හේතුවෙන් පීදෙන ගොයමට ජලය ලබාදීම සම්බන්දව පවතින ගැටළුව අදාල බලධාරින්ට දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු විසඳුමක් මෙතෙක් නොලැබී තිබෙන බවද ගොවි සංවිධාන ලේකම් වරයා කීය.

වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගෙඩ මහතාද දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්විමේ දී මෙම සිද්ධිය තහවුරු කරමින් කියා සිටියේ නිළධාරීන්ගේ අනපවා නොතකා අදාළ පුද්ගලයන් මෙම ක්‍රියාව කරන බවයි.

පොලිසියට මේ සම්බන්දව දැනුම් දි ඇතැත් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නා හෙයින් පොලිස් විශේෂ කාර්ය බළකායට දන්වා හෝ මෙම අනවසර ජලය ගැනීම නතර කර දෙන ලෙසට වාරිමාර්ග ඉංජිනේරුවරයා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කලේය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා කියා සිටියේ තංගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කඩිනමින් මේ බව දැනුම් දිමට පියවර ගන්නා බවයි.