(නිමන්ති රණසිංහ)

අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෝට්ටේ නගර සභා හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් මහතා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීම සදහා පුද්ගලයින් 100 දෙනකු තමන් රැගෙන ගිය බව සඳහන් කරමින් මෙම සැකකරු ඉතාලියේ ජීවත් වන සුරංග ජයලත් යන තැනැත්තකුට ‘වට්ස්අප්’ පණීවිඩයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු මෙම සිද්ධයට සම්බන්ධ බවට කටවචනයෙන් කරුණු ඉදිරිපත් කිරීම පිලිගත නොහැකි බැවින් ඒ සදහා ඇති සාක්ෂි මොනවාදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

එහිදී අදාළ හඩ පට ලැප්ටොප් පරිගණකයක් මගින් අධිකරණයට ඇසීමට සැලැස්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.