(අංජුල මහික වීරරත්න)

අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමෙි චෝදනාව සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් දින හයක් ඇතුළත වහාම වාර්තාවක් ලබා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට උපදෙස් දුන්නේය.

විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙම නිලධාරීන් අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

ගබඩාවේ අබිලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වල තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබිණි.

එවැනි තත්ත්වයක් යටතේ අරලගංවිල ගබඩාවක 2015 වසරේ දී මිල දී ගන්නා ලද කිලෝග්‍රෑම් 4000ක පමණ වී තොගයක් නිසි පියවර නොගෙන රඳවාගෙන පවතින්නේ නම් ඊට අදාල ප්‍රාදේශීය කළමනාකරුවන් ඊට වග කිව යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම දිවයින පුරා ඇති සියලුම වී ගබඩා පරීක්ෂා කර එම ගබඩාවල තවමත් පැරණි වී තොග ඇත්දැයි සොයා බලා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.