(විමුක්ති එස් රුද්‍රිගු)‍ෙ

ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝන වලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය ඉඩ ලබා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් නිර්මාණය කර ඇති සැතපුම් 165 ක් පුරා දිවෙන මෙම ගුවන් මාර්ගය කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරනු ලබයි.

මෙම ගුවන් මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට ඇතැම් ව්‍යවසායකයින් විවේචන එල්ල කර ඇත.ඇරෝ කුළුණු 30 ක් මත මෙම අතත්‍ය ගුවන් මාර්ගය අඩි 400 ක් ඉහළ අහසේ නිර්මාණය වී ඇති බවත් එම කුළුණු මගින් ඩ්‍රෝන පාලනය වන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම පැවැසුවේය.

මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි බවත් යානා පියාසර කරවීමට මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම ප්‍රකාශ කළේය.එක් කුළුණකට සැතපුම් 2.5 ක සංඥා පරාසයක් තිබෙන බවද එම සමාගම පැවැසුවේය.