IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට  භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් අද  (02)  නියෝග කළේය.  

එසේ පත්කරනු ලබන භාරකරු වෙත ලෙල්ලමේ පිහිටි දේපලේ සන්තකය සහ එම දේපලට අදාල ගිණුම් සහ අත ඉතිරි සියලුම මුදල් ද භාරදෙන ලෙසටද දිසාවිනිසුරුවරයා විසින් නියෝග කලේය.

කොළඹ අගරදගුරු හිමි විසින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, එන්. අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම්, ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික, ඒ. ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරු නඩුවේ අතුරු තහනමක් ලබාදෙමින් මීගමුව දිසා විනිසුරු එම නියෝග නිකුත් කළේය.

කොළඹ අගරදගුරු හිමිපාණන් හට අයත් “ලෙල්ලම” ධීවර වෙළඳ මධ්‍යස්ථානය, කොන්දේසි කිහිපයක් ඉටුකිරීමේ එකඟතාවයට යටත්ව, 1963 වසරේදී එවකට සිටි අගරදගුරු හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මඟින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය වෙත පවරා දුන් බවත්, විත්තිකරුවන් විසින් එම තෑගි ඔප්පුවේ කොන්දේසි උල්ලංගනය කරමින්, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපලේ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දී ඇති බවත්, එම දේපලේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත්වන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැයකිරීම සඳහා පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංගනය කරමින් විත්තිකරුවන් දිගින් දිගටම එම ආදායම් තනිව භුක්ති විඳින ලද බවටත් සඳහන් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ඒ අනුව, තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි විත්තිකරුවන් විසින් දිගින් දිගටම උල්ලංගනය කිරීම හේතුවෙන්, එවකට සිටි කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට කටයුතු කළ නමුත් විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් අදාල දේපලේ නීති විරෝධි ලෙස දිගින් දිගටම රැඳී සිටින බවටත්, විත්තිකරුවන් විසින් අත්තනෝමතික ලෙස එම ධීවර සමිතියේ නාමය පවා වෙනස් කර ඇති බවටත් එම පැමිණිල්ලේ සඳහන් විය.

ඒ අනුව, පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන්  අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ලෙල්ලම ධීවර වෙළඳ මධ්‍යස්ථානය පිහිටි දේපල කොළඹ අගරදගුරු හිමිපාණන් වෙත අයත් බව ප්‍රකාශ කරමින් නියෝගයක් ලබා දෙන ලෙසත්, විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් එම දේපලෙන් ඉවත් කර එම දේපලේ භුක්තිය තමන් වෙත ලබා දෙන ලෙසත් ය. 

එසේම එම නඩුව අසා නිමවන තෙක් අදාල දේපලේ කළමණාකරණය සඳහා සුදුසු භාරකරුවෙකු පත් කර, අදාල දේපල සහ එයට අදාල ගිණුම් සහ මුදල් ඔහුට භාර දෙන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටද පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින ලදී.

එම අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දීර්ඝ සාක්ෂි විමසීමක් පවත්වන ලද අතර එහිදී පැමිණිලිකරු වෙනුවෙන් ගරු සිස්වාන් ජේ කෲස් පියතුමා, එම්. වින්සන්ට් ජර්මන්, ඩබ්. ඒ ස්ටීවන් සහ ඩබ්. ජේ මාර්ටින් ප්‍රනාන්දු යන අය සාක්ෂි ලබාදෙන ලදී .

විත්තිකරුවන් වෙනුවෙන් පළවන විත්තිකරුද, ඩබ්. ගානිස් ප්‍රනාන්දු , එල්. සී. රොෂාන් සහ ඒ. ඒ. පීටර් සිල්වා යන අය සාක්ෂි ලබාදෙන ලදී.

එම දීර්ඝ සාක්ෂි විමසීමෙන් පසුව මීගමුව දිසා විනිසුරු  මෙම අතුරු නියෝග නිකුත් කරන ලදී.

පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමි වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ රුක්ෂාන්ත අල්මේදා මහතා සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටින ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ෂර්ලි අමරසේකර මහතාගේ උපදෙස් මත නීතීඥ කුමාරි පීරිස් මහත්මිය සමඟින්  ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය සුනිල් කුරේ මහතා පෙනී සිටි යේය.



අදහස් (0)

”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site