(අංජුල මහික වීරරත්න)

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වර්ෂයේ වත්මන් ප්‍රගතිය, ඊට අදාළ ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම 2027 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. 

එළැඹෙන වසරේ අයවැය යෝජනා සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර, මේ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවක් ලබන 6 වනදා පැවැත්වීමට තීරණය කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එම්. එම්. යූ. බී. හේරත් මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.