(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලිමකදි අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා අනුරාධපුර  සුරා බදු කාර්යාලයේ කොස්තාපල් වරයකු බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
 
සුරා බදු නියාමක සමග අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් හමුවී ඇත.
 
ඔහු  සමඟ මත්ද්‍රව්‍ය මිලදීගැනීමට පැමිනි කාන්තාවන් 5දෙනෙකු, තරුණයින් දෙදෙනෙකුද හා  කුඩා දරුවකුද අත්අඩංගුවට ගත් බව කියයි. අත්අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
 
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබේ. මෙම වැටලීම සිදුවන අවස්ථාවේදි මෙම සුරාබදු නියාමකයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරීක්ෂකවරයා සුඛෝපභෝගි  මෝටර් රථයෙන් පලා ගොස් ඇති බව කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව ආසන්නයේදි නිලධාරීන්, සුරාබදු නියාමක ගමන්ගත් වෑන් රථය හරස් කරමින් සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
 
පලා ගිය සුරාබදු පරීක්ෂකවරයා හා මෝටර් රථය අත් අඩංගුවට ගැනිමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා ඇති බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මුලස්ථානයේ මේ වන විට රඳවා තිබේ.
 
කලක සිට මෙම ජාවාරම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සුරා බදු නියාමකවරයා ඇතුළු පිරිස අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.