(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා නිව්යෝර්ක් නුවර දී පැවසීය.

ශ්‍රී ලංකාවෙි  ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කීය .

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා  මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළේය.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි.