(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැති වැඩ සටහනකදී අමාත්‍යවරයා මේ බව කීය.

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින්  මීට වඩා ආදායමක් ගැනීමට නම් ආහාරය සඳහා පොල් යොදා ගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුමත් ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට මෙන්ම පොල් සංවර්ධන අධිකාරියටත් උපදෙස් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාව  බොහෝ දේවල් වලින් ලෝකයේ අංක එකේ සිටින අතර සීනි, ලුණු, පිටි,  කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු ආහාර වැඩිපුර ගැනීම වැනි  බොහෝ කරුණු වලින් ලංකාව  අංක එකට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව  පෙබරවාරි මාසයට අදාලව නිකුත් කළ වාර්තාවට අනුව 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ  පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී ඇතැයි ද පොල් වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ දී  රුපියල් මිලියන 894ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා කීය.