(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම" යන තේමාව යටතේ ගෙන ආ  51/5  යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වුණු අතර එම යෝජනාවට පක්ෂව සාමාජිකයෝ 20 දෙනෙක් එහිදී  ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 7 ක් ඡන්දය ලබා දුන්හ.

සාමාජිකයෝ 20 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය පිළිගත්තේය.

ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ අද (06) අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ 51/5 යෝජනාව රටවල් 7 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ අතර අද (06) වන විට තවත් රටවල් 23 ක් සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් සම්පූර් ණ රටවල් 30 ක සහයෝගය හිමිව තිබුණි.

මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා හි එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත තානාපති සයිමන් මෑන්ලි මහතා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අද (06) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය.ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, කැනඩාව සහ ජර් මනියේ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 51/5 යෝජනාව අද (06) සයිමන් මෑන්ලි මහතා ඉදිරිපත් කළ අතර එයට තවත් රටවල් 23 ක් අත්සන් තබා තිබුණි.

ශ්‍රී ලංකාව සමීප මිතුරෙකු මෙන්ම සමීප හවුල්කරුවෙකු බවත් වත්මන් අභියෝග හමුවේ මෙම යෝජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ප්‍රතිසන්ධානය, යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය දිරිගැන්වීම සඳහා බවත් සයිමන් මෑන්ලි මහතා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.පසුගිය වාර් තාවේ අඩංගු කරුණු මෙන්ම පසුගිය මාස 18 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ වර් ධනයන් සැලකිල්ලට ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් චීනය, බොලිවියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, කියුබාව සහ එරිත්‍රියාව යන රටවල් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ලිබියාව සහ ඉන්දුනීසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.