(තරිඳු ජයවර්ධන)
පුරාවිද්‍යාත්මක, සංස්කෘතික, ආගමික , ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අනුරාධපුර නගර සීමාව තුල මෑත කාලයේ අවිධිමත් අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති නිසා නගරයේ එම වටිනාකම ක්‍රමයෙන් බිඳවැටෙමින් පවතින බවත්, එම බලපෑම තුළින් නගරවාසීන්ගේ ජනජීවිතයට හා යහ පැවැත්මට හානිදායක තත්ත්වයක් උදාවී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඇතුළු නුවර කලාපයට අයත් පුරාවිද්‍යා රක්ෂිත කලාප තුළ අනවසර පදිංචිකරුවන් විසින් ඉඩම් අත්පත් කර ගැනීම්, ගොඩනැඟිලි ඉදිකිරීම් හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් අවශේෂ කොටස් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම නිසා නාගරික බල ප්‍රදේශයේ සංස්කෘතිය හා පුරාවිද්‍යාත්මක වටිනාකම් විනාශ මුඛයට ගොස් ඇති බව නිරීක්ෂණය කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරනුයේ අනුරාධපුර මහනගර සීමාව තුල කරන ලද අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන බලපෑම පරීක්ෂා කිරීම සඳහා විශේෂ විගණන පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුවය.
අභයගිරිය පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ලංකාරාමය, සඳකඩ පහන, සමාධි පිළිමය, කුට්ටම් පොකුණ හා අභයගිරි ස්ථූපය ඉදිපිට අනවසර ඉදිකිරීම් 267ක් පමණ වන බව ද, වෙස්සගිරිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් හා වෙළඳසැල් 25ත් 30ත් අතර ප්‍රමාණයක් තිබෙන බවද, ඒ හේතුවෙන් පෞරාණික වටිනාකම් සහිත ස්ථාන අපවිත්‍ර වී ඇති බව නිරීක්ෂණය කර තිබෙන බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.
නාගරික බල ප්‍රදේශය තුළ ඇති පූජාභූමි අනවසර ලෙස අත්පත් කර ගැනීම හෝ පූජා භූමි සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අනවසර කර්මාන්ත සඳහා නගර සභාව විසින් බලපත්‍ර ලබාදීම හේතුවෙන් එම භූමිය බැතිමතුන්ට අහිමිවන අතර මේ හේතුවෙන් වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන්නවුනට බාධා පැමිණ ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පොන්නාරම්කුලම වැව හා රක්ෂිතය තුල පෞද්ගලික හෝටලයක් පවත්වාගෙන යන බවත්, වැව් තාවුල්ලේ තාප්පයක් බැඳ ලැගුම් ගැනීම සඳහා කාමර කීපයක් ඉදි කිරීම හේතුවෙන් වැව් පෝෂක ප්‍රදේශය අහිමිවී ඇති බවත් නිරීක්ෂණය කර ඇත.
නාගරික අවශ්‍යතා සඳහා බීමට ජලය සැපයෙන නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275ක් හා තිසා වැව් තාවුලු ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 130ක් තිබීමෙන් වැව්ජලය දූෂණයට ලක්වන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල අනවසර ලෙස පරිහරනය කරන පුද්ගලයින් විසින් ඔවුන්ගේ හෝටල්, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැවේ පිටාර ජලය ගලා බසින පරණි වාන ගලවා ඉවත් කර අලුතෙන් වාන ඉදිකර ඇති බව ද නිරීක්ෂණය කර තිබේ.
අනුරාධපුර මහා රෝහලෙන්, යුද හමුදා රෝහලෙන් සහ පෞද්ගලික රෝහල්වලින් පිටවන අප ද්‍රව්‍ය පොන්නාරම්කුලම් වැවේ ඇළ මාර්ගයට එකතු වී මල්වතු ඔයට එකතු වන බව නිරීක්ෂණය කළ බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ දැක්වේ.
කුම්බිච්චන්කුලම වැවේ වාන් වතුර මල්වතු ඔයට මුදා හරින ඇළ මාර්ගය දෙපස ඇති සේවා මාර්ගද අවහිර වන පරිදි විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් කර තිබී ඇත. පෞද්ගලික ආයතනවලින් ඇළ ඉවුර මත ආධාරක කොන්ක්‍රීට් කණු යොදා ඒ මත තාප්ප හා බිත්ති බැඳ ඇළ රක්ෂිතය අනවසරයෙන් අල්ලා ගෙන තිබීම හේතුවෙන් සේවා මාර්ග අහිමිවී ඇති අතර එය ඇළ දෙපස ජීවත්ව සිටින ජනතාවට ප්‍රබල සාමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ. ඇළ මාර්ග දෙපස ඇති රක්ෂිත ප්‍රදේශ අවභාවිතා කරමින් හෝටල් ඉදිකිරීම, තොටුපොළවල් සෑදීම යනාදිය කිරීම හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂණය වී ඇති බව නිරීක්ෂණය කර තිබේ.
මල්වතුඔය රක්ෂිතය විශාල වශයෙන් භාවිත කරනු ලබන්නේ නගරයේ ප්‍රසිද්ධ හෝටල් සහ ලැගුම්හල් හිමියන් විසින් බවත්, හෝටල් හිමියන් කිහිප දෙනකු විසින් සංචාරකයන් සඳහා බෝට්ටු සවාරි සංවිධානය කර තිබුණු බවත්, රක්ෂිතවල ඉදිකිරීම් කර ඇති හෝටල සඳහා නගර සභාවෙන් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ගෙන නොතිබුණු බවත්, බෝට්ටු සවාරි සඳහා නගර සභාවෙන් වෙළඳ බලපත්‍ර ලබාගෙන නොතිබුණු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්ප්‍රදායික විගණන සීමාවන්ගෙන් බැහැරව ගොස් ජාතික වැදගත්කමකින් යුත් මෙවැනි දේ ගැන විමර්ශනය කිරීම ගැන විගණකාධිපති තුමාට ප්‍රණාමය!
මොනවා කරන්නද යහ පාලනයට සංස්කෘතිය අදාල නැති බව දන්නේ නැද්ද
මේ කියන හැමදේම පිටපස්සේ ඉන්නේ කවුද කියන එකනම් සැවොම දන්නා කරුණක්. ඒ මිනිසුන්ට අවශ්‍ය තම නම ගහපු පුවුරු/පළක මිස අපගේ ඉතිහාසය නොවේ. තව ටික කලකට පසු හැමදෙනාටම දකින්න පුළුවන් වෙන්නේ ඒ අයගේ දුෂ්ට ශිෂ්ටාචාරය මිස මුළු ලෝකයම අගයන අපගේ ඉපැරණි ශිෂ්ටාචාරය නොවේ.
අපගේ දෙමුපියන් සිටියානම් හූල්ලලා මැරෙනවා මේවා අහලා, දැකලා. මොකක්ද මේ රටට වෙන්නේ ? මිනිස්සු සල්ලි පස්සේම දුවන්නේ. පාලකයෝත් අනිත් අයත් ඔක්කොම ගජරාමෙට සාක්කු පුරෝගන්න එකනේ කරන්නේ.
මාධ්‍යත් , උගතනුත් තම කාර්ය ඉටු කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවා නේද ? රටේ එක් එක් ප්‍රදේශවල කොයි තරම් ආක්‍රමණ සිදු වෙලාද ? ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම වගකීම් ඉටු නොකරන්නේ ? දේශපාලන බලපෑම්වලටද ? අපේ රටට මොනවා වෙයිද ?
මේ ලිපිය කියවන අයට හොඳින් වැටහෙනවා අපේ රටේ පුරාවිද්‍යාවට හා සංස්කෘතියට අත්පත්ව ඇති ඉරණම. හැමදෙනාම මුදල් පසුපස දුවනවා හැර වෙනත් කිසිවක් ඇත්ද? රටේ සංස්කෘතිය හා අභිමානය දේශපාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ආක්‍රමණයට යටත්ව ඇති හැටි මෙය කියවීමෙන් වැටහේ. පුළුල් හා බල ගැන්වුනු ජාතික ප්රතිපත්තියකින් මිස වසරෙන් වසරට මාරුවන විෂය භාර ඇමැතින් හට මේවා නිවැරදි කල හැ කි නොවේ. මේවයේ වටිනාකම් ජනතාව වටහා නොගන්නවා මෙන්ම එවැනි ඉගෙන්වීමක් ජනතාවට ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක නොවේ. එය කිසි දිනක ඇතිවෙයයිද සිතිය හැකි නොවේ. එබැවින් මෙවන් ගවේෂණ වාර්තා පිලියෙල කිරීමට වැයවන කාලය හා මුදල් අපතේ යමක් හැර ප්‍රතිපලයක් ලැබිය හැකිදැයි බලාපොරොත්තු තැබිය හැකිද? එය එසේ විය හැකි නම් අප සිටින්නේ ශ්‍රී ලංකාව තුල නොවිය හැක.
මේවා වහාම අවලංගු කොට නිතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි. අනුරපුරයේ තත්වය මේක තමයි මොකද මමත් අනුරපුරයේ නිසයි මේවා කියන්නේ.