(සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුවේදී  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර පසුව එය ඉල්ලා අස්කර  ගන්නා බවට දැනුම් දුන්  විදුලිබල  මණ්ඩලයේ හිටපු සභාපති  එම්.එම්.සී ප්‍රදිනාන්දු මහතා  සම්බන්ධයෙන්  කමිටුව ලබන සතියේ  රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවට  සඳහන් ප්‍රදිනාන්දු මහතාගේ  ලිපිය තමාට අද (14) ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මණ්ඩලයේ  සභාපති ප්‍රදිනාන්දු මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරයාට කර ඇතැයි  කියන  ප්‍රකාශයක්  සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එම ප්‍රකාශය මාධ්‍යවල ප්‍රචාරයවීමෙන් පසු  ජනාධිපතිවරයා එය  ප්‍රතික්ෂේප කළේය.

ප්‍රදිනාන්දු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව කෝප් කමිටුවට දැනුම්දීමට කටයුතු  කළේ ඉන් පසුවය.

කෝප් කමිටුවේදී තමා කළ පැහැදිලි කිරීමේදී ඇතිවූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ බවද ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද
ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබිණ.

ප්‍රදිනාන්දු මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලය අදානි සමාගමට දෙන ලෙසට ඉන්දීය අගමැතිවරයා  බල කරන්නේ යැයි  ජනාධිපතිවරයා තමා කැඳවා පැවසූ බවයි.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව  යෝජනාවක් ගෙන එන බවයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප්  කමිටුවේදී කරන ලද ප්‍රකාශය පසුව ඉල්ලා අස් කර ගැනීමෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාගේ වරප්‍රසාද කඩවී ඇති බවද  ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශය කර දින දෙකකට පසු ප්‍රදිනාන්දු මහතා විදුලි බල  මණ්ඩලයේ  සභාපති ධූරයෙන්  ඊයේ (13) ඉල්ලා අස්විය.