(කාංචන කුමාර ආරියදාස )

වසර ගණනාවකට පසුව දේශීය ලොකු ළුණු සඳහා ඉහළ මිලක් ලැබීමත් සමග තමන් සතුටට පත්වන බව දේශීය ලොකුළුණු ගොවීහු පවසති.

මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ,ගලේවෙල ,සිගිරිය ආදී බොහෝ ස්ථානවල දේශීය ලොකු ලූණු අස්වැන්න නෙළීම ආරම්භ වී තිබේ.

පසුගිය කාලයේ තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැතිවීම නිසා දේශීය ලොකු ලූනු ගොවීන් වගාවෙන්ම විශාල වශයෙන් ඉවත්ව වෙනත් වගා කටයුතු වලට නිරත වූහ.

මෙවර දේශීය ලොකු ලූණු වගාව සියයට පනහකින් පමණ අඩුව පවතින අවස්ථාවක වගා කල ගොවීන්ට දේශීය ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් දෙසිය හැටත් දෙසිය අසූවත් අතර මිලක් ලැබෙන බව දේශීය ලොකු ලූණු ගොවීහු පෙන්වා දෙති.

මෙවර දේශීය ලොකුළුණු සඳහා ඉහළ මිලක්  ලැබීමේ වාසිය රජයට හිමි නොවන බවද ඉන්දියාවෙන් විදේශ රටවලට ලුණු අලෙවි කිරීම සීමා කිරීම ඉන්දියාවේ මිල ඉහළ යෑම හේතුවෙන් ඉහළ මිලක් ලැබුණු බව ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ දේශීය ලොකු ලූණු ගොවියෙක් වන එස්.ඒ රතනපාල මහතා පැවසීය.

පසුගිය කන්න වල තම දේශීය ලොකු ලූනු අස්වැන්නට මිලක් ඉල්ලා මහ පාරට බැස අරගල කළ බවත් පසුගිය කන්නයේ කිසිදු සාධාරණ මිලක් නොදීම නිසා තමන් මෙවර ලොකු ලූණු වගාව අඩුවෙන් සිදුකළ බවද හෙතෙම පැවසීය.

තමන් වගා කිරීමට හේතු වූයේ තමන් ළඟ වැඩ කරන හැත්තෑවකට අධික කම්කරුවන්ට රැකියා අහිමිවීම නිසාවෙන් බවද රතනපාල මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් තමන් මෙවර දේශීය ලොකු ලුණු අක්කර 11ක පමණ වගාකොට අක්කරයකට කිලෝ 16000, 18000ක් අතර ඉතා සාර්ථක අස්වැන්නක් තමන්ට ලැබී තිබෙන බවත් කිලෝ එකක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී රුපියල් 260ක මිලක් තමන්ට ලැබෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.