(ඩයනා උදයංගනී)

පවතින් ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් රෝහල්වල කාර්ය මණ්ඩල පැමිණීමේ මෙන්ම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ ද අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය කාලයේදී රෝහල් වෙත රෝගීන්ගේ පැමිණීම සියයට 40කින් පමණ අඩුවී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල, මාළිගාවත්ත වකුගඩු රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ආදී රෝහල් රැසක බාහිර රෝගී අංශයෙන් සහ සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව එම ආරංචි මාර්ග කියයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ රෝහල්වලට රෝගීන් පැමිණීම මෙන්ම රසායනාගාර පරීක්‍ෂණ පැවැත්වීම ද අඩුවී ඇති බවයි.

රෝහල්වලට පැමිණීමට ප්‍රවාහන පහසුකම් ලබාගත නොහැකිවීම, රෝහල්වල පවතින ඖෂධ හිඟය හෝ ජනතාවට ඇති ප්‍රශ්න සමඟ සෞඛ්‍ය සම්බන්ධයෙන් නොසිතීම නිසා මෙසේ රෝගීන් පැමිණීම අඩුවී තිබිය හැකි බව හෙතෙම කීවේය.

සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල සියයට 50ක් පමණ සාර්ථක වුවත්, දිනය පුරා පෝලිම්වල රැඳී සිටින්නට ඔවුන්ට සිදුවීමෙන් සිකුරාදා දිනයේදී ද සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම සිදුවන බව හෙතෙම පැවසීය.

රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ද ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති අවස්ථාවක, මේ වන විට ඇතැම් රසායනාගාර පරීක්‍ෂණ ද කිරීමට නොහැකි තත්වයක් මතුවී ඇතැයි රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

රසායනාගාර ද්‍රව්‍ය සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් බිලියන 10ක පමණ ණය මුදල් නොගෙවීම හේතුවෙන් රසායනාගාර ද්‍රව්‍ය හිඟවීමෙන් මෙම ගැටලුව ඇතිවී තිබෙන බව ද කුමුදේශ් මහතා කීවේය.

එමෙන්ම පිළිකා සඳහා ප්‍රතිකාර ලබාගන්නා සහ වකුගඩු රෝගය හේතුවෙන් රුධිර කාන්ද්‍රකරණය සිදුකරන රෝගීන් රැසක් රෝහල්වලට යාමට පහසුකම් සැපයිය හැකි අය සිටීදැයි විමසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉල්ලීම් පළ කර තිබෙනු දක්නට ලැබිණි.