(යොහාන් භාසුර)

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්.අයි.එස්.) මිලදී ගැනීම සඳහා එම රෝහලේ නිලධාරීන් 15 දෙනෙක් පමණ ඉන්දියාවට ගොස් ඇති බව එහි සේවකයෝ චෝදනා කරති.

අදාල නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවත් සේවකයෝ කියති.

අදාල කටයුත්ත සඳහා උපරිම නිලධාරීන් සිවුදෙනෙක් සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන එහි සේවකයෝ මෙවැනි පිරිසක් පරිඝණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති.

පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යෑම අනුමත කළ නොහැකි බව කියන සේවකයන් පවසන්නේ මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බවත්ය.

මෙම සිද්ධිය පිළිබඳව කරුණු දැනගැනීමට එම රෝහල් බලධාරියෙක් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම රෝහලේ දුරකථන අංශය බලධාරියෙක්ට යොමු කිරීම මඟ හැරීය.