රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි රුසියාවේ විශේෂ දූත පිරිසක් සමග සිදුකළ සාකච්ඡා සාර්ථක වී තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) නියෝජනය කරමින් මෙම දූත පිරිස පැමිණි අතර,  රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාව ශ්‍රමිකයන් බඳවා ගැනීමේ මූලාශ්‍ර රටක් ලෙස සලකා බැලීම සම්බන්ධයෙන් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා එම නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පවතින නිපුණ හා අර්ධ නිපුණ ශ්‍රම බලකාය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළ අතර, රටේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමවේදය සහ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට සුදුසු කාර්යක්ෂම ශ්‍රමිකයන් බිහිකිරීම සඳහා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ආයතන ඉටුකරන කාර්යභාරයද පැහැදිලි කළේය. තවද, විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන් සඳහා ලොව රටවල් රැසකට ශ්‍රමිකයන් යොමු කිරීමේ ශ්‍රී ලංකාව සතු දිගුකාලීන අත්දැකීම් පිළිබඳවද සඳහන් කරමින්, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය, අනුවර්තන හැකියාව සහ විශ්වසනීයත්වය අවධාරණය කළේය.

NOSTROY සංවිධානයේ සභාපති ඇන්ටන් ග්ලූෂ්කොව් මහතා (Mr. Anton Nikolaevich Glushkov) අදහස් දක්වමින්, මෙම සංචාරය සංවිධානය කිරීම සහ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කාර්යාංශයට සහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ස්තුතිය පළ කළේය. රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, රුසියාවේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ හැකියාව සොයා බැලීමට NOSTROY සංවිධානය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම NOSTROY සංවිධානය රුසියානු සමූහාණ්ඩුවේ විශාලතම ඉදිකිරීම් සංගම් අතරින් එකක් වන අතර, නිවාස, සිවිල් සහ කාර්මික ඉදිකිරීම් ව්‍යාපෘතිවල නිරත සමාගම් 105කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන බවද ඔහු පැවසීය. තවද, රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඉන්දීය ශ්‍රමිකයන් බඳවා ගැනීම වෙනුවෙන් NOSTROY සංවිධානය ඉන්දියාව සමඟ මෑතකදී අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹි බවද ඔහු දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ (SLFEA) සභාපතිවරයාද අදහස් දක්වමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පවතින හැකියාව පිළිබඳව සහ විවිධ විදේශ ශ්‍රම වෙළඳපොළවල් වෙත ශ්‍රී ලාංකික ඉදිකිරීම් ශ්‍රමිකයන් සාර්ථකව යොමු කර ඇති අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

වැඩසටහනේ අවසානයේදී, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත සමාගම (පුද්.) සමාගම වෙනුවෙන් එහි සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ National Association of Self-Regulatory Organizations Based on Membership of Individuals Engaged in Construction (NOSTROY) සංවිධානය වෙනුවෙන් එහි සභාපති ඇන්ටන් නිකොලයෙවිච් ග්ලූෂ්කොව් මහතා අතර අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි.

මෙම අවබෝධතා ගිවිසුම මගින් විශේෂයෙන්ම රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ යොමු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සහයෝගීතාව සඳහා වූ රාමුවක් ස්ථාපිත කරනු ලබයි.