(ඩයනා උදයංගනී)
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම මෙම මස 25 වැනිදා පස්වරුවේ සිදුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
දැනට මෙම නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කර ඇති අතර එය හෙට (20) දිනයේත් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ඉන් අනතුරුව නව චූඩා මාණික්‍යය අනිද්දා (21) පෙරවරුවේ කුරුණෑගල ඇත්කඳ විහාරයට වැඩම කරවන අතර අනිද්දා සවස 6.00 සිට 22 වැනිදා අලුයම 5.00 දක්වා එහිදී ප්‍රදර්ශනය කෙරේ.
පසුව එය අනුරාධපුරයට වැඩම කරවීම සිදුකරන අතර 22 වැනිදා රාත්‍රියේ සිට 24 වැනිදා දක්වා රුවන්වැලි සෑය අභියස කුටියක තැන්පත් කර තබනු ලැබේ.
තුන් තිස් පැයේ පිරිත් සජ්ජායනයක් ද 24 වැනිදා රාත්‍රී 9.00ට රුවන් වැලි සෑය අභියසදී පැවැත්වීමට නියමිතය.
එම පිරිත් සජ්ජායනය මධ්‍යයේම 25 වැනිදා සවස 6.00ට රුවන් වැලි මහා සෑයේ රන් ආලේපිත කොත් කැරැල්ල මත චූඩා මාණික්‍යය තැන්පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
එම කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුවන්නේ 26 වැනිදා උදෑසන 10.00ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් අතිනි.
එදින දහවල් සංඝගත දක්‍ෂිණාවක් හා සවස ආශීර්වාද පූජාවක් පැවැත්වීමෙන් පසුව එම පිංකම් කටයුතු නිමාවට පත්වේ.
දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.
එහි පාදම පිරිසිඳු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.
මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිදු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බෞද්ධයන්ට ඇති උතුම්ම පූජනීය ස්ථානය නිසා කිසිදු දේශපාලකයෙකුගේ සහභාගිත්වයෙන් තොරව මෙය සිදු කරන්න. මෙය සුපිරිසිදු තැනක් නිසා කිලිටුවුනු අය ගැළපෙයිද?
ගෝඨාභය මැතිතුමාගේ වාසනාවට එකත් හරියටම හරිම තැනදී කරන්න ලැබුන. අපේ රටට හොද කාලයක පෙරනිමිති පේනවා. සියලු ජනතාව පිළිවෙතින් පෙළ ගැසේවා ! ජයවේවා!
එතකොට මෙතෙක් කලක් රජ දවස පටන් කොතට පලඳවලා තිබුන චූඩා මාණික්‍යය ඒකට මොකද වෙලා තියෙන්නේ ?