(අංජුල මහික වීරරත්න)

අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාවේ දිලීර රෝගයක් ව්‍යාප්තවෙමින් ඇති බව රබර් පර්යේෂණ  ආයතනය  පවසයි.

වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora  ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.

වර්ෂාව අධිකවීමත්, හිරු එළිය නිසි පරිදි නොලැබීමත් හේතුවෙන් මෙම දිලීරය වයාප්තවන අතර පහත රට තෙත් කලාපයේ රබර් වගාවේ ආරම්භ වූ මෙම රෝගය දැනට මොනරාගල වැනි ප්‍රදේශවලින් වාර්තා වන බව රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරීහු අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

මේ වනවිට එම රෝගය පාලනය සඳහා වගාකරුවන් දැනුම්වත් කිරීම ආරම්භ කර ඇති අතර රබර් වගාවන්හි මෙම රෝග තත්ත්වය වාර්තා වන්නේ නම් වහාම රබර් වගාව සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද එම ආයතනය ඉල්ලිමක් කරයි.