(සුජිත් හේවාජුලිගේ)

වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35145කින් පමණ වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එය ප්‍රතිශතයක් ලෙස සියයට පනස් හතරක පමණ වැඩිවීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

වාණිජ බැංකු වලට ස්වර්ණාභරණ උකසට තබා 2024 වර්ෂයේදී ලබාගෙන තිබූ ණය ප්‍රමාණය වූයේ රුපියල් කෝටි 66000ක් බව මහාචාර්යවරයා කීය.

වාණිජ බැංකුවලට ස්වර්ණාභරණ උකසට තබා ලබාගෙන ඇති එම ණය ප්‍රමාණය මේ වර්ෂයේ මාර්තු වනවිට රුපියල් කෝටි101100 ක් දක්වා වැඩි වී තිබුණු බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රටේ ආර්ථික උද්ධමනය එදිනෙදා මුදල් සොයා ගැනීමේ අවශ්‍යතා මත ස්වර්ණාභරණ උගසට තැබීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ස්වර්ණාභරණ උකසට තැබීම හෝ විකිණීම හේතුවෙන් රටේ නිවාසවලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ස්වර්ණාභරණවලින් තොර නිවාස බවට පත්ව ඇතැයි මූල්‍ය ආයතන වාර්තා පෙන්වා දෙයි.

ආර්ථික උද්ධමනය සහ අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් තම රන් ආභරණ අලෙවි කිරීමට සහ උකස් කිරීමට යොමු වී ඇත. මෙරට නිශ්චිත වශයෙන් අලෙවි කළ රත්තරන් ප්‍රමාණය (කිලෝග්‍රෑම් හෝ පවුම් වලින්) පිළිබඳව මහ බැංකු හෝ රජයේ නිල සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් වී නොමැති වුවද, ආර්ථික අර්බුදකාරී සමයේදී රන් උකස් කිරීම් රුපියල් කෝටි 35600 ක් දක්වා ඉහළ ගිය බව වාර්තාවේ.

ගෝලීය වෙළඳපොළ සහ රුපියලේ අගය වෙනස්වීම් හමුවේ මෙරට රත්රන් මිල වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමද ජනතාව තම රත්රන් අලෙවි කිරීමට පෙළඹුණු තවත් හේතුවක් බව එම වාර්තා සඳහන් කරයි.

මේ අතර ආර්ථික උද්ධමනය හමුවේ විවිධ වර්ගයේ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පාර්ශ්වයන්ට විකුණා ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇත.