(අංජුල මහික වීරරත්න සහ හබරාදුව බී.එච්.රම්‍යා)

ලෝකය  දිනාගෙන ලංකාව හදන්න සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පැවසීය.

දොස්තර කෙනෙක් වන්නට අදාළ සුදුසුකම් අවශ්‍ය වන්නා සේම රටේ නායකයා වන්නට ද අදාල  සුදුසුකම් අවශ්‍ය බව කී අබේවර්ධන මහතා ජනපති ඡන්දයට ඉදිරිපත් වන බව කියන අයගේ හිත් රනිල් සමග හැරෙන්නටවත් බැරි බව හොඳින්ම දන්නවා යැයිද කීය.

එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනය ගාල්ල නගර සභා ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නායකයා ලෙසට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව වජිර අබේවර්ධන මහතා විසින් සම්මෙිලනයට ඉදිරිපත් කරන ලද අතර පාක්ෂිකයෝ සියලු දෙනා යෝජනාව ඒකමතිකව සම්මත කළහ.

සම්මේලනය අමතමින් එජාප සභාපතිවරයා කීවෙි  ගාල්ල  දිස්ත්‍රික්කයෙන් මේ වැඩසටහන ආරම්භ කළා වගේම පෙබරවාරි මාසයේ විසි අට වෙද්දී ලංකාව පුරාම මෙවැනි සම්මන්ත්‍රණ පවත්වමින් සියලු දෙනාම රැස්කරගෙන ජනාධිපතිවරයා මේ යන ගමනට සහාය දක්වන්න සූදානම් බවයි.