(ඩයනා උදයංගනී)
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු කිහිප ගුණයකින් ඉහළ යාමත්, ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් රුපියල් දහස් ගණනින් ගාස්තු අය කිරීමත් නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මේ වන විට බස් රථ ධාවනය ද අඩු වී ඇති නිසා හදිරි රාජකාරී කටයුතු මෙන්ම රෝගී අවස්ථාවක රෝහලක් වෙත යාමට ත්‍රිරෝද රථයක යාමට සිදුව ඇතත් ඔවුන් කුඩා දුරකටත් දැරීමට නොහැකි තරම් ගාස්තු අය කරන බවට ජනතාව චෝදනා කරති.
ගායන ශිල්පිනී විශාරද අභිෂේකා විමලවීර මහත්මිය සිය මුහුණු පොතෙහි සටහනක් පළ කර තිබුණේ බොරැල්ලේ සිට කොල්ලුපිටියට යාම සඳහා ත්‍රිරෝදරථ රියදුරකු තමන්ගෙන් රුපියල් 3,000ක් ඉල්ලූ බවත්, එය 2,500ක් දක්වා පමණක් අඩුකරගනිමින් තම ගමන ගිය බවත්ය.
රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් මහත්මිය ද පන්නිපිටියේ සිට බොරලැස්ගමුවට යාමට ත්‍රිරෝද රථ රියදුරකු තමන්ගෙන් රුපියල් 3,000ක් අය කළ බව මුහුණු පොතෙහි පළ කර තිබිණි. ඔවුන්ගේ එම සටහන්වලට බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වා තිබූ අතර, එම පිරිස් සටහන් කර තිබුණේ තමන්ට ද එවැනි මිල ගණන් ගෙනා ත්‍රිරෝද රථවල ගමන් කරන්නට සිදුව ඇති බවයි.
ගාලුමුවදොර සිට මහරගමට යාමට රුපියල් 5,000ක්, වැල්ලවත්තේ සිට නවලෝක දක්වා පැමිණීමට රුපියල් 8,000ක්, කටුනායක ගුවන් තොටුපලේ සිට මොරටුව දක්වා යාමට රුපියල් 30,000ක්, මීගමුව සිට රාජගිරිය දක්වායාමට රුපියල් 20,000ක්, ආමර්වීදිය සිට කොළඹ කොටුවට රුපියල් 1,700ක්, පුංචි බොරැල්ලේ සිට කොටුවට රුපියල් 1,800ක්, පිළියන්දල සිට රත්මලානට යාමට රුපියල් රුපියල් 6,000ක්, කුරුඳුවත්ත සිට කොළඹ කොටුවටයාමට රුපියල් 1,800ක්, කළුබෝවිල සිට මොරටුවට රුපියල් 4,000ක් ආදී වශයෙන් ත්‍රිරෝද රථ රියදුරන් තමන්ගෙන් ගාස්තු අය කළ බව ඔවුන් සඳහන් කර තිබිණි.
එක්තරා ත්‍රිරෝද රථ රියදුරකු 1,700ක් ඉල්ලූ ගමනකට වෙනත් මීටර සවිකළ ත්‍රිරෝද රථයකින්යාමට එදිනම වැයවූයේ රුපියල් 450ක් බවද එක් අයකු ප්‍රකාශ කර තිබිණි.
රුපියල් 9,000කට පොරොන්දු වූ ගමනක් අවසානයේ ත්‍රිරෝද රථ රියදුරා රුපියල් 14,000ක ගාස්තුවක් ඉල්ලූ බව ද එක් අයකු තැබූ සටහනක විය.
මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ රුපියල් 2,500ක ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණනක් පෝලිමේ සිටින්නට සිදුව ඇති බවත්, පෝලිමේ නොසිට ඉන්ධන මිලදී ගැනීමේදී පෙට්‍රල් ලීටරයකට රුපියල් 2,500ත් 3,000ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්ය.
එවැනි මිලකට ඉන්ධන ලබාගෙන සහ දින පහකට වරක් පමණක් ත්‍රිරෝද රථය ධාවනය කර ජීවිකාව කරගැනීමට සිදුව ඇති තමන්ට අඩු මිලට ත්‍රිරෝද රථ ධාවනය කළ නොහැකි බව ද ඔවුහු පවසති. ඉන්ධන සාමාන්‍ය පරිදි ලැබෙන්නේ නම් තමන්ට සාමාන්‍ය ගාස්තු යටතේ සේවාව පවත්වාගෙනයාමට හැකි බව ද ත්‍රිරෝද රථ රියදුරෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ත්‍රිරෝද රියදුරන්ගේ අලුතින්ම පටන් ගත්ත ජාවාරම තමයි ඕක... හැම කෙනාම කියන්නේ වැඩිමිලට පෙට්‍රල් මිලදී ගත් බවයි. බොරු... ඔවුන් සෑම දෙනාම පෝලිම් වල සිට පෙට්‍රල් එක් රැස්කර වැඩිමිලට විකුණනවා. එයින් අධික ලාභයක් උපයනවා පමණක් නොව, දරාගන්න බැරිතරම් ගාස්තුවක් මගීන්ගෙන් අයකරනවා. පොලිසිය, හමුදාව මැදිහත් වෙලා මුලින්ම වැඩිමිලට පෙට්‍රල් විකුණන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ යුතුයි. ඒ වගේම ත්‍රිරෝදවලට සාධාරණ ගාස්තුවක් මගීන්ගෙන් අයකිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයි...
මේ රටට කෙළවෙලා මේ වගේ කල දුටුකළ වල ඉහගන්නට තැත්කරන හැතිකරේ නිසයි.
බොහෝ අය අවස්ථාව ලද සැණින් වංචනිකව සහ හොර උපක්‍රම වලින් අධිකව මුදල් හොයනවා. ඔවුන් ඉන් තාවකාලික සතුටක් ලබනවා. නමුත් එහි ආදීනව ද ඔවුන්ටම ගෙවන්නට වෙනවා.
මිනිස්සු අරගල කරන්නේ පාලකයින්ට මෙවැනි දේ වල පාලනයක් කරන්න වුවමනාවක් නැතිකම නිසා. කාංචන කියලා කෙනෙක් හිටියා... එයා තෙල්ටික එයාට ඕනඕන විදියට බෙදුවා. වාහන අංකයට සීමිත තෙල් ප්‍රමාණයක් හරි ආකාරයකට බෙදුවා නම් ත්‍රිවීල් මුදලාලිලා තෙල් බිස්නස් එකට බහින්නේ නැහැ. ලීටරේ 2000ට දෙන්නද කියලා මගෙන් ඇහුවේ නුගේගොඩ ත්‍රිවීල් මුදලාලි කෙනෙක්...!
එන්න අපි නන්දසේනට බනිමු...!
මේ ත්‍රිවිල් කට්ටිය දාලා තියෙන තර්කයේ දවස් 5කට සැරයක් හයර් දුවන්න වෙන එකයි, ලීටරේ 2000 ගානේ අරගෙන දුවන්න වෙන එකයි දෙකම එකපාර වෙන්න බෑ. දවස් 5ක් පෝලිම්වල ඉඳලා තෙල් ගන්නේ සාමාන්‍ය ගානටනේ... ඕක තමයි කියන්නේ කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා කරගන්නවා කියලා. මේ වගේ මිනිස්සු එක්ක මොන සිස්ටම් චේන්ජ්ද?
ත්‍රිවිල් හොරුන් කරන්නේ රණ්ඩු කරලා මිනිස්සුන්ව එළවලා තෙල් ගහගෙන ෂෙඩ් හින්දවනවා. අපිට වාහනවලට ගහන්න තෙල් නැහැ. මේ අය ඊට පස්සේ අධික මිලට හයර් දුවනවා. සක්කිලි වැඩ තමයි කරන්නේ. මේ අය අපේ රටින් පන්නා දමන්න ඕනේ..
ත්‍රිරෝද රථ මේ රටට සාපයක්...!!! ඔවුන්ට වෙන කිසිම වෘත්තිය දැනුමක් නෑ. පාසල් ගමන නිමා කරනවා.... ත්‍රිවීල් එකක් ගන්නවා... පාරට බහිනවා... හරිම ලේසි වැඩේ!! කිසිම දෑතේ වැඩක් බෑ. වගාවක් කරන්න දන්නේ නෑ.. මේසන් වැඩක්, වඩු වැඩක් හෝ වෙනත් කිසිම කර්මාන්තයක් බෑ. ත්‍රිරෝද රථ ආශ්‍රිතව වෙනත් බොහෝ නීති විරෝධී වැඩ ක්‍රියාත්මක වෙනවා. තෙල් ජාවාරමෙන් 90% කට වඩා කරන්නේ ඔවුන්... මේවාට ඇතැම් පොලිස් නිලධාරීන් පවා සහාය දෙනවා ඇති!!! මේ සාපය රටින් ඉවත් කළ යුතුයි.