(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරුට අධිකරණය මගින් නියම කළ රුපියල් මිලියන සියයක ශරීර ඇප දෙකක් සඳහා මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත්වුයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද පස්වරුවේ නියෝග කළේය.

කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ලක්ෂ සීයක ශරීර ඇප තුනක් මත මුදාහල කපිල චන්ද්‍රසේන සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් හෝ ඔහු හඳුනා ගැනීමකින් තොරව රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූවද ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකරුවන්ට නොහැකි තත්ත්වයක් ඇති බවට හා සැකකරු සමග ඇපකරුවන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට අධිකරණය නිලධාරීන්ට හැඟී ගිය හෙයින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ග්‍රාම නිලධාරී සහතිකයක් අනුව අත්අඩංගුවට ගත් බවද පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ඇප තැබීමට ඉදිරිපත් වූයේ දේවා සහ තිස්ස නැමැති පුද්ගලයින් කළ ඉල්ලීමක් අනුව බවත්, ඇප තැබීම වෙනුවෙන් රුපියල් 15000 ක මුදලක් ලබාගෙන ඇති බවද කරුණු අනාවරණය වී ඇති බව පැවසීය. සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායමක් නොමැති බවද සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හා ඔවුන් ග්‍රාම නිලධාරී වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.