(නිමන්ති රණසිංහ)

බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදී සිදුකළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.

පොලිස්පතිවරයාගේ නියමයෙන් ආරම්භ කර ඇති මෙම විමර්ශනයට අනුව අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකුගෙන්, එහි බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකුගෙන් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 09 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිරකරු දිනය පැවැති ඉකුත් සැප්තැම්බ්ර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇති කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට කළ නියෝගය ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව කියමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව එම අධිකරණයෙන් පොලිස්පතිවරයාට මෙම නියෝගය නිකුත් වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස 21 වැනිදාය.