(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රෝටරි සහ රෝටරැක්ට් සමාජිකයන් වෙනුවෙන් සංවිධානය කළ ‘රෝටරි ටී.ආර්.ආර්. රාජන් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ රෝටරැක්ට් අංශයේ සම ශූරතාව දිනාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල රෝටරැක්ට් සහ නල්ලූර් හෙරිටේජ් රෝටරැක්ට් සමාජ සමත් විය.

එහි රෝටරි අංශයේ ශූරතාව වාරියපොල රෝටරි සමාජය දිනාගත් අතර අනු ශූරතාව කොළඹ මිඩ්සිටි රෝටරි සමාජය හිමිකරගත්තේය.

නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට රෝටරි සහ රෝටරැක්ට් සංවිධාන නියෝජනය කරමින් සාමාජිකයෝ දහසකට අධික පිරිසක් සහභාගි වූහ.

සන්මැච් සමාගමේ නිර්මාතෘ ව්‍යවසායක සහ ප්‍රසිද්ධ ව්‍යාපාරික ටී.ආර්.ආර්. රාජන් මහතා අනුස්මරණය කිරීම සඳහා පැවැති මෙම තරගාවලියට සන්මැච් සමාගම පූර්ණ අනුග්‍රහය දැක්වීය. අභාවප්‍රාප්ත ටී.ආර්.ආර්. රාජන් මහතා මහනුවර රොටරි සමාජයේ 51 වැනි සභාපතිවරයා වන අතර රාජන් මහතා 2009 වසරේ රෝටරි දිස්ත්‍රික් 3220 හි ආණ්ඩුකාරවරයා බවට ද පත්විය.

මහනුවර ප්‍රදේශයේ සුබසාධන ව්‍යාපෘති රැසක් ඉටුකළ රාජන් මහතා මහනුවර රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට ද විශාල සේවයක් කළ පුද්ගලයෙකි.

ක්‍රිස්ටල් පැක් සමාගම, ස්වර්ණා ඇන්ඩ් සනස්, ඩබ්ලිව්.කේ. හෝල්ඩින්ස්, ඊසි ෆිට් සහ පාර්මැක්ස් හෙල්ත්කෙයාර් මෙම තරගාවලියට සහයෝගය දැක්වීය.