(ඩයනා උදයංගනී)

සියලු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉදිරියේදී රටට ගැලපෙන, මධ්‍යස්ථ, ප්‍රායෝගික, මධ්‍යස්ථ මෙන්ම රටේ තරුණ පරපුරේ සහ වෘත්තිකයන්ගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන පක්ෂයක් රටට හඳුන්වා දිය යුතු බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ පිරිසක් ද ඒ හා සම්බන්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා කීය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ දී ඊයේ (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මැතිවරණයකින් තොරව මහජන මතය පාර්ලිමේන්තුව තුළ නිරූපණය කළ හැකි බලවේගයක් පළමුව බිහිකළ යුතු බව කී මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ 108ක් වන විපක්‍ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113ක් බවට පත්කරගත යුතු බව ද කීවේය.

එවිට රාජපක්‍ෂවරුන්ගේ හිරකරුවන් නොවී වැදගත් ගමනක් යාමට අවස්ථාව ලැබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.