(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සැමට සහෝදරත්වයේ හස්තය දිගු කරන අතර සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යැයි ජනාධිපතිවරණ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට සුවපත් කිරීමට නම් සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අලහප්පෙරුම මහතා කීය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා:-

තවදුරටත් ජනාධිපති ධුරය ආභරණයක් විදියට ගෞරවයක් විදිහට වත්කමක් විදිහට සලකලා නෙමෙයි අප ජනාධිපතිවරණයට කණ්ඩායමක් විදිහට ඉදිරිපත් වුණේ.

පක්ෂ පුද්ගල න්‍යාය පත්‍ර වෙනුවට ජාතික න්‍යාය පත්‍රයක් කේන්ද්‍ර කර ගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබාදීම සඳහාත් ජනතා පරමාධිපත්‍ය පාවා දෙමින් නිදහස ලැබූ දින සිට අප අත්විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාව පෙරදැරිව අප මේ කටයුත්ත කළා.මේ ඉලක්කම් වලින් ලැබූ පරාජය පරාජයක් ලෙස නොව ධෛර්ය සම්පන්න මග පෙන්වීමක් ලෙස අපට උදව් කළ සහ සුබ පැතූ සියලු දෙනාට ඉදිරිපත් කරන්න කැමතියි.

අපේ වුවමනාව තිබුණේ ඉතිහාසයේ පළමු ප්‍රායෝගික සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැඟීමයි.

ප්‍රතිඵලය කුමක් වුවත් සම්මුති වාදය මුළු ලෝකයට ම වටිනා පරමාදර්ශයක් සපයා තිබෙන බව කිව යුතුයි.ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් කැපවීම් කළා. බොහෝවිට අවවාදයට වඩා ආදර්ශය උතුම් බව රටට පසක් කරමින් පෞද්ගලික අභිමතාර්ථයන් පසෙක දමා ජනාධිපති ධුරයට මා නිර්දේශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් එය ස්ථිර කරමින් ශක්තියක් වු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පක්ෂ රාශියක් කැපකිරීම් කළා.ජරාජීර්ණ බෙදීමෙන් තොරව අප එකට එකතු වුණා.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන අතර ම අරමුණු වෙනුවෙන් කැපවූ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට පෞද්ගලික ගෞරවය පුද කරනවා.එමෙන්ම මිලියන ගණනාවක ජනතාවගේ ගෞරවය පුද කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැවසූ සේම අද අප ගත කරන්නේ නිදහසින් පසු අමාරුම කාලයකයි.දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් පාර්ලිමේන්තුවේ පිළිබිඹු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් මා මිත්‍ර අනුර දිසානායක මහතාත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා.මෙි මොහොතේ ඡන්දය පාවිච්චි කළ සැමට අපේ කණ්ඩායම වෙනුවෙන් සහෝදරත්වයේ හස්තය දිගු කරන්න කැමතියි.සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යි.රටකට නැවත නැගිටින්න පුළුවන්.රෝගී රටකට නැවත නැගිටින්න බැහැ.එනිසා අප සියලු දෙනාගේ සහයෝගය ඊට අවශ්‍යයි.අප හැම විටම සිතුවේ දියවන්නා දූපතේ සිටින පවුල් 225 ගැනයි. අප බැලුවේ දියවන්නාවෙන් පිටට සිටින පවුල් පිළිබඳවයි .අප ඔවුන් වෙනුවෙන් එකට සිට ගත යුතුයි.