(සුජිත් හේවාජුලිගේ )

රට වටේ යන්න කලින් පසුගිය ඡන්දයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

විසි දෙවැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍ය බව ජාත්‍යාන්තර මෙන්ම අපේ රටේ බහුතර නීතිඥවරැන්ගේ මතය බවද ඔහු කීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බව කියා ඊට අනිවාර්යයෙන්ම තීන්දුවක් දෙනු ඇති බව කිරිඅැල්ල මහතා විශ්වාසය පළ කළේය

ඹහු මෙසේ පැවැසුවේ ඊයේ(30) කොළඔදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය

මේ වගේ වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ආණ්ඩුව විපක්ෂය, සිවිල් සංවිධාන, නීතිඥයන් සමග සංවාදයක් පවත්වන්න ඕන කියලා අපි මුලින්ම කිව්වා. කිසිම සංවාදයක් තිබ්බේ නෑ. අප්‍රේල් මාසේ තමයි නීතිඥ සංගමය ලිපියක් ලිව්වේ. මේ ලියුමට උත්තරයක් වත් රජයෙන් ආවේ නෑ. මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළෙත් නෑ.

මේ සංශෝධනය අාවේ ගහෙන් ගෙඩි එන්න වගේ. ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළොත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් තියන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණය ගැන මට විශ්වාසයක් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නවා යම්කිසි ආණ්ඩුවක් විනිසුරැවරැන් පත් කළාම ආණ්ඩුවට පක්ෂව තීන්දු දේවි කියලා. එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙලත් නෑ. ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තමා පත්කරපු ආණ්ඩුවට විරුද්ධව තීන්දු දුන්නා. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම කල්පනාවෙන් තීන්දු දෙන්නේ. අපේ අධිකරණය දෙන තීන්දු දිහා මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. පදනම් නැති තීන්දු දෙන්නේ නැත්තේ ඒක නිසා.

ජනාධිපතිතුමා රටේ වටේම යනවා. එ්ක එතුමාගේ අයිතියක්. නමුත් එහෙම කරන්න කලින් ගිය මැතිවරණ කාලේ දුන්නු පොරොන්දු ඉටු කරන්න. ඉන්ධන වරායේ බාන බිලට දෙනවා කිව්වා. විදුලි බිල අඩු කරනවා කිව්වා.විට්ස් කාර් හම්බ වුණාද. කොල්ලන්ට මෝටර් සයිකල් දෙනවා කිව්වා.

අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් එක බින්දුව කරනවා කිව්වා. කෝ ඒවා ඒවා කළාද. අද හැම තැනම ජීවත්වීමේ අර්බුදය. තරුණයන් ලක්ෂ ගාණක් රටින් පිටවෙලා.