(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත් කළ පුද්ගලයා හරිනම් සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට කළ පව්  සමා කර ගැනීමට එසේ කළ යුතු බව කී කිරිඇල්ල මහතා ඉන්දියාවේ නායකයන් නම් එවැනි වරදක් කළොත් පව් සමාකර  ගැනීමට ආශ්‍රමයකට ගොස් නැවතී සිටින බවද කීය.

"සුපර් මෑන්"ගොවි ජනතාවත් රටෙි ආර්ථිකයත් විනාශ කර පැන ගිහින්  දැන් රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් පැන්ෂන් එකත් අරගෙන සිටින බවද කිරිඇල්ල මහතා කීය.

සජබ 22 වැනි සංශෝධනයට සහය දෙන්නේ ආණ්ඩුව බේරගන්න නොව රට බේරගන්න බව කී කිරිඇල්ල මහතා මිනිස්සු හැම තැනම බඩගින්නේ සිටින අතර සමහර අය කන්නේ කන්නේ එක වේලක් බවද මොන ආණ්ඩුව හිටියත් දැන් ජාත්‍යන්තර ආධාර අවශ්‍ය බවද පැවසීය.

දැන් 22 සංශෝධනය ගෙන එන්නේ  ප්‍රජාතන්ත්‍රවාදයට හෝ මානව හිමිකම් වලට ආදරේ නිසා නොව ජාත්‍යන්තර සහය හා ආධාර ලබා ගන්න බවද කිරිඇල්ල මහතා කීය.

රට බංකොලොත් කළ අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැතැයි කී කිරිඇල්ල මහතා ආහාර පාන ,බෙහෙත් ටිකක් ගන්න ආධාර ලැබුනත් රට ගොඩ දාන්න ආධාර හම්බ වෙන්නේ නැතැයි ද අවුරුද්කට ඇමෙරිකා ඩොලර් බිලියන 12ක් අවශ්‍ය නමුත් මූල්‍ය අරමුදලෙන් දෙන්නේ බිලියන 2.9 ක් පමණක් බවද සඳහන් කළේය.