(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු  ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් "ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය" මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු  සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන්  “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.