(අංජුල මහික වීරරත්න)

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුලත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු  කිරීමට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපතිවරයා කීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව  ජනාධිපතිවරයා  සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21)  පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව  පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව  සඳහන් කළේය.