(සුජිත් හේවාජුලිගේ)

මුද්‍රණ කඩදාසි හිඟය නිසා රජයේ ලිපි ද්‍රව්‍ය  මුද්‍රණ කටයුතුද බොහොමයක් ඉතාම කෙටි කලකින් අඩපණවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රජයේ ආයතන වෙනුවෙන් ලිපි ලේඛන මුළු වර්ෂයටම මුද්‍රණය කිරීම මේ අනුව තාවකාලිකව නවතා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

රජයේ ආයතන වෙනුවෙන්  කාර්තුවෙන් කාර්තුවට ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇතැයිද  ඇය සඳහන් කළාය.

මුද්‍රණ කඩදාසි  පිරිමසා ගැනීම සඳහා  මෙම පියවර ගෙන ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රජයේ ආයතනවල ගබඩාවන්හි දැනට පවතින ලිපි ද්‍රව්‍යවල විස්තර  පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව එම ආයතනවලට දැනුම්දී ඇත.

එසේම කොළඹ වරායේ  හිරවී ඇති  මුද්‍රණ කඩදාසි තොග නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මහ  භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව ගංගානී කල්පනා ලියනගේ  මහත්මිය වැඩිදුරටත් කීවාය.