(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රාජකාරී සඳහා ලබා දී තිබූ පිස්තෝලය   පොලිසියේ ඉදිරිපිට පිහිටා ඇති බුදු මැදුර තුළ සඟවා එම අවිය අස්ථානගත වූ බවට පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය  සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් හෙළිවූ තොරතුරු මත ඔහු විසින්ම බුදු මැදුරේ  සඟවා තබන ලද එම පිස්තෝල අවියද සොයාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පසුගිය තිස්එක් වෙනිදා වැලිඔය පොලිස් ස්ථානයේ දිවා කාලයේ උප  සේවයේ යොදවා සිටි  රාජකාරී සඳහා නිකුත් කර තිබූ  පිස්තෝලය  අස්ථානගත වී ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබිණි.

පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ බලයක් වශයෙන් ඔහු විසින්ම සඟවා තිබූ එම අවිය සොයා ගැනීමට හැකි විණි යැයි  පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

සැකකාර කොස්තාපල්වරයා මෙම පිස්තෝලය පිටස්තර අයෙකුට විකිණීම සඳහා රැගෙන යනතුරු බුදු මැදුරේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.