(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්‍රකාශ කරමින් නොසිට රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය බලධාරීන් හමුවේ පැවසීය.

සෞඛ්‍ය ගැටලු පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරිම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද රත්නායක මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී සාගල රත්නායක මහතා මේ බව කීය.