(බිමල් ශ්‍යමන් ජයසිංහ)

කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කබොක් ගල් වලින් වසා පලා ගිය අපරාදයේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා බොරු කොණ්ඩයක් පැළඳ වෙස් වලාගෙන සිටියදී දින 43 කට පසු වරාය නගරය තුළදීම  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

සැකකරු පැළඳ සිටි බොරු කොණ්ඩයද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අපරාධයට සම්බන්ධ තවත් චීන ජාතිකයන් සිව් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි .

ඇහැලියගොඩ ‍ කරදන පොලිස් මුර පොලේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් මුරපොලේ සිට ගැටහැත්ත දෙසට වන්නට පිහිටි රඹුටන් වගා කර ඇති ඉඩමක ගරා වැටී ඇති නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් ඉකුත් ජූලි මස 23 වෙනිදින සොයාගෙන තිබිණි.

ඒ වනවිට එම මළසිරුර කබොක් ගල්වලින් වසා තිබී ඇති අතර සැක සහිත සුඛෝභෝගී මෝටර් රථයක් නුගදණ්ඩ කෝවිල අසල මාර්ගයේ තිබී එදිනම හමුවී තිබුණි.

සිදුකළ මූලික විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවත් එය චීන ජාතිකයකුගේ බවත් අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී කොළඹ වරාය නගරය තුළදී පැහැරගෙන පැමිණි චීන ජාතිකයා බවට අනාවරණය වී තිබිණි.