(විමුක්ති එස් රුද්‍රිගු)

චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය පැවසුවේය.

යුවාන් වැන්ග් 5 නෞකාව එළඹෙන බ්‍රහස්පතින්දා දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර එය පර්යේෂණ නෞකාවක් ලෙස නම්කර තිබුණත් ඔත්තු බැලීමේ හැකියාවද තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔත්තු බැලීමේ අරමුණින් යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට දිල්ලි බලධාරීන් කනස්සල්ලෙන් සිටි බවත් ඒ පිළිබඳ පැමිණිල්ලක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ බවත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  හමුවක් පැවැත්විණ.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී ඇති පසුබිමක මෙම හමුව සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට පෙර චීන රජයෙන් උපදෙස් ලබා ගන්නා බව දැනුම් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම මේ වන විට රාජ තාන්ත්‍රික ගැටළුවක් බවට පත් වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.