(අංජුල මහික වීරරත්න)

ජගත් පරිසර දින ජාතික සැමරුම 2026 ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය  යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිමද මෙහිදී සිදු කෙරිණි.

“සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය,  “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි. 

මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිසරික පර්යේෂකයින් සමග සමූහ ඡායාරූපයකටද එක් විය. 

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසූයේ යල් පැන ගිය පරිසර පනත් සංශෝධනයට පියවර ගන්නා  බවයි.