(යොහාන් භාසුර)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 963 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 10 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (18) පෙරවරුවේ  පැවැසීය.

එම සැකකරුවන් 963 අතරට විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 638 ක් සහ අපරාධ අංශවලට යොමු කළ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි තවත්  සැකකරුවන් 325 ක් ඇතුළත් බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය මගින් යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 දෙනෙකුද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට පත් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 අතර විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 66 දෙනෙකු ද, විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 228 දෙනෙකු ද, සිටින බවත් එම අමාත්‍යංශය සදඟන් කරයි.