(අංජුල මහික වීරරත්න)

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය රළු විය හැකි බැවින් ධීවර කටයුතුවලින් වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හදිසි දැනුම්දීමක් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (6) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම විශේෂ දැනුම්දීම සිදු කරයි.

අදාළ නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා දැනට පවතින තත්ත්වය මත නුසුදුසු වේ. එබැවින්, නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙස සියලුම ධීවර කාර්මිකයන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබේ.

එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් හෝ එහි ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.