(අංජුල මහික වීරරත්න)

අවසර නොලද නීති විරෝධී අන්තර්ජාල සුදු වෙබ් අඩවි 122 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මෙම වෙබ් අඩවි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වා ගෙන ගොස් තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාන්මක වන සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම් දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.

සුදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ගැනීමකින් තොරව අන්තර්ජාල සුදු පවත්වා ගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතී විරෝධී ක්‍රියාවක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

ඒ අනුව, අදාළ නීති විරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන අවසර නොලද අන්තර්ජාල සුදු වේදිකාවන්හි නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වලකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටියි.