(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන නියෝජිතයන් විසින් ඉදිරිපත් කෙරෙන සියලුම වත්කම් තොරතුරු ජනතාවට ලබා ගැනීමට හැකි වරප්‍රසාදය ඉතිරි කර සෙසු නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි නොවන අන්දමින් ගැනීමට හැකිවන පරිදි දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම යෝජනා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මහජන නියෝජිතයින් කියන්නේ රක්ෂාවක් නොවන හෙයින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් ගැන ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති බවත් තම කණ්ඩායම ඉතා කැමැත්තෙන්ම ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ අමාත්‍යවරුන්ගේ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව ජනාධිපති සිට පහළට ආසන්න වශයෙන් තුන්සිය දෙනකු පමණ වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල ලබා දිය යුතුව තිබුණා. එය මුලින් දුන්නේ ලිඛිතව. පස්සේ ඒක ඉලෙක්ට්‍රොනිකව දෙන්න සිද්ධ වුණා. මන්ත්‍රීවරුන් අතිවිශාල ප්‍රමාණයක් 2025 සංශෝධනයෙන් පස්සේ මධ්‍්‍්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියකින් බාරදීමට කටයුතු කළ පසු මෙම ප්‍රමාණය එක් ලක්ෂ හැටදහසක් දක්වා පුළුල් වුණා. දේශපාලනඥයන් විතරක් නෙවෙයි විවිධ පුද්ගලයන් ඇතුල්වුණා.

අසූ අට වගන්තියේ ජනතා ප්‍රවේශය අනුව එම සියලු දෙනා දෙන තොරතුරු වෙබ් අඩවියේ පළ කරන්නත් ඒවා ජනතාවට ලබා ගන්නත් අවස්ථාව දුන්නා. එය විනිවිදභාවය සඳහා ගත් පියවරක්. ඒ සාධනීය පියවර ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් ඇතැම් මාධ්‍යය යැයි හඳුන්වා ගන්නා පුද්ගලයන් අවභාවිත කළ බව ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ගේ මේ ප්‍රකාශවලට දරුවන්ගේ සහ පවුල්වල සියලු තොරතුරු ඇතුළත් වෙනවා. සමහරු ඒවා අරගෙන විකෘති කරපු කොටස් ප්‍රසිද්ධ කළා. මෙතනත් ඒ ඇමතිවරු ඉන්නවා. වින්දිත වෙච්ච. එම නිසා දූෂණ විරෝධී පනත හොඳ අරමුණු වගේම පුද්ගලිකත්වයට අනවශ්‍ය පහරක් බවට පත්වුණා. ඒ නිසා තමයි මේ පනත සංශෝධනය ගේන්න කොමිසම තීරණය කරන්නේ. දැන් තියෙන තත්ත්වය තමයි, සෑම දෙනාගේම වත්කම් බැරකම් ප්‍රකාශයේ සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කරන්න ඕන. ඕනෑම කෙනෙකුට එ්වා ලබාගන්න පුළුවන්. ඒක යම්කිසි තැනකට සීමා කළ යුතුයි කියන එක තමයි කොමිසමේ පදනම. නමුත් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා ඒ සීමා කිරීම මහජන නියෝජිතයන්ට අාදේශ කළයුතු නැහැ කියලා. මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕන කෙනෙකුට බලන්න පහසුකම් තියෙන්න ඔ්න.